පාකිස්තානයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කලයුතු බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද උදෑසන බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාකිස්තානු රජය එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අසමත්නම් එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කලයුතු බවයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කලේ.
” පාකිස්තානයේදී ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ප්‍රියන්ත සොහොයුරාගේ දේහය මේ වනවිට ලංකාවට ගෙන ඒමට සූදානමින් ඉන්නවා. ලංකාවේ සහ බොහෝ රටවල ආගමික උමතු අන්තවාදය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ අන්තවාදය මොන තරම් ම්ලේච්ඡද? මිනිසුන් ඝාතනය කරන්න, ඝාතනය කර ගිණි තබන්න, ගිණි තබා ඔල්වරසන් දෙන්න තරම්ම උමතු ම්ලේච්ඡ තැනකට අන්තවාදය තල්ලුවී තිබෙනවා. ප්‍රියන්ත සොහොයුරාගේ ඝාතනයෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේත් ලෝකයේත් මානවවාදයට ගරු කරන, මිනිස් සංහතියේ අනාගතය ගැන විශ්වාස කරන සෑමදෙනාම උමතු ම්ලේච්ඡ අන්තවාදයට එරෙහිව පෙරට ආ යුතු බවයි. ආගමික නායකයින්ට මෙහිදී විශාල කාර්යභාරයක් තිබෙනවා. සෑම ආගමක්ම තමන්ගේ අධ්‍යාත්මයේ හිත සුව පිණිස නිර්මාණයවී තිබුණත් ඒ ආගම්වලට මුවාවී අන්තවාදයේ දිශාවට ගමන් කිරීම නිසා මෙවැනි ඝාතනයන් සිදුකරමින් තිබෙනවා. අපි එම ඝාතනය පිළිබඳව සංවේගය පළ කරනවා වගේම අද පාර්ලිමේන්තුවේදී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් පාර්ලිමේන්තවේ ඇතිවුණු විශේෂ තත්වයක් හේතු කොටගෙන ඒ අවස්ථාව වැළකී ගියා. පාකිස්ථාන රජය මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. ඒ වගේම පාකිස්ථානයේ ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රැකවරණය සහතික කළයුතුයි. මෙහිදී ශ්‍රී ලංකා රජයට කාර්යභාරයක් තිබෙනවා. පාකිස්ථානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න පාකිස්ථානු රජය සූදානම් නැත්නම් එහි සිටින ලාංකිකයන් වහාම ලංකාවට කැඳවිය යුතුයි. මෙවැනි ම්ලේච්ඡ ඝාතනයකට කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලක් නොවිය යුතුයි. මෙවැනි අන්තවාදී උමතුවකට මෙයට පෙරත් ලංකාව මුහුණ දුන්නා. 2019 අප්‍රේල් 21වැනිදා ආගමික අන්තවාදයේ උමතුව පාස්කු ප්‍රහාරය හරහා සමාජයට නිරාවරණය වුණා. එහිදීී විශාල පිරිසක් ඝාතනයට ලක්වී තවත් පිරිසක් ආබාධිතත්වයට පත්වුණා. ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු ආගමික අන්තවාදයේ උමතුවට තවදුරටත් ගොදුරු නොවිය යුතුයි. ඒ වගේම යළි විවිධ අන්තවාදී ඝෝෂාවන් රට තුළ කරලියට එන බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා රජයටත් පුරවැසියන්ටත් අන්තවාදය පරාජයට පත්කිරීම, මර්දනය කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකළ යුතුව තිබෙනවා. ප්‍රියන්ත සොහොයුරාගේ වෘත්තීයමය හැකියාව සහ දක්‍ෂතාවය පකිස්ථානයේ කර්මාන්ත ශාලා තුළ දියත් කරමින් තිබුණා. එවැන්නෙක් තමයි මේ ම්ලේච්ඡයන්ගේ ගොදුරු බවට පත්වුණේ. අපේ රටේ බලය ලබාගැනීම වෙනුවෙන් සහ බලය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් මෙවැනි අන්තවාදයන් නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩදී තිබුණා. පක්‍ෂයක් හැටියට අපගේ සංවේගය ප්‍රියන්ත සොහොයුරා වෙනුවෙන් පළකරනවා වගේම ආගමික අන්තවාදයේ උමතුව පරාජය කිරීම සඳහා අපේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම පාකිස්ථාන් රජයට අපි නැවත නැවතත් බලකර කියා සිටින්නේ මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි. ඒ වගේම මෙවැනි අන්තවාදයන් පරාජය කිරීම සඳහා ලෝක වාසීන්ට එකතු වන ලෙස ආරාධනයයක් අපි කරනවා ”