හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා
අද(26) යක්කල ජලසම්පාදන වියපෘතියකට මුල්ගල තැබීමේ අවස්ථාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා
මෙහිදී වැඩිදුරටත් දැක්වූ රණතුංග මහතා ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව පැවසුවා
“මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා.’ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කළා. අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. එතුමා සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ පාස්කු ප්‍රහාරයට. නීතිය එතුමාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳලා මම කථා කරන කෙනෙක්. එතුමා පහුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියේ කථා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ. ඉතින් ඒවට උත්තර දෙනකොට රිදෙනවා. රිදෙනකොට ඒගොල්ලො කියන දේවල්වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි. මගේ මතය හැමදාම කියපු කෙනෙක්. මම විශ්වාස කරනවා ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ගෙනියන්න නම් කාටහරි ඉන්න බැරි නම් සියලු වරප්‍රසාද අරගෙන කෑගහන්නේ නැතුව එළියට යන්න ඕනේ. එහෙම නැත්තනම් ආණ්ඩුව එක්ක කටයුතු කරගෙන යන්න ඕනේ. දෙකෙන් එකයි තියෙන්නේ. තුනෙන් දෙකේ බලයක් අපිට ඕනේ නෑනේ. චන්ද්‍රිකා නෝනා ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙකුගෙන්. යන අය ඔක්කෝම ගියත් අපිට ඒක ගෙනියන්න පූළුවන්.” යනුවෙන් ඔහු පැවසීය