මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේදී අද උණුසුම් කාරී තත්ත්වයක් හටගත්තා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් නගරාධිපතිවරයාට විරුද්ධව අදහස් දැක්වීමත් සමඟයි.
පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් මහා සභා රැස්වීම අවස්ථා තුනකදී කල්දැමීමට මූලාසනයට සිදුවිය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් චෝදනා නැගුවේ මහරගම නගර සභාවේ නගරාධිපතිවරයා වංචා සහගත ලෙස ඔහුගේ නිවසට විදුලිය ලබා ගත් බවටයි.
නගරසභා අරමුදලින් කෝටි අටක මුදලක් වංචා කර ඇති බවත් ඉකුත් සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මස පැවති මහා සභා රැස්වීම් නීත්‍යානුකූල නොවන බවටත් ඔවුන් නගරාධිපතිවරයාට චෝදනා කළා.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් , සභාවේ කටයුතු වලට බාධා එල්ල කළ අතර , ස්වාධීන කණ්ඩායමේ නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා හැලජින් වර්ගයේ විදුලි ලාම්පුවක් සභාගැබ තුළ ප්‍රදර්ශනය කරමින් විරෝධය පළකළා.
හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් විනාඩි 30කට සභාව කල් තැබීමට සිදු වූ අතර නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා නැවත සභාවේ කටයුතු ආරම්භ කළ ද මන්ත්‍රීවරුන්ගේ දිගින් දිගටම එල්ලවූ විරෝධතාවය හේතුවෙන් නැවත වරක් විනාඩි පහළොවකට සභාව කල් තැබීමට නගරාධිපතිවරයාට ද සිදුවුණා.
මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහය නොදැක්වීම විශේෂ සිද්ධියක්.
මේ අතර අද පැවති මහා සභා රැස්වීම නීත්‍යානුකූල රැස්වීමක් බවට තහවුරු කර ගැනීම සදහා, විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා බෙදීමක් ඉල්ලා සිටි අතර එහිදී සිදුකළ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 25 ක්ද විපක්ෂව ඡන්ද 22 ද ලැබුණි .
ඒ සඳහා සමගි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග උප නගරාධිපති වරයා ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි දෙදෙනෙකු විපක්ෂව ඡන්දය භාවිත කළහ .
තමාට පැවරී ඇති වරප්‍රසාද අනුව නිවසට විදුලිය ලබා ගැනීම සිදු කළ බවත් එලෙස ලැබූ වරප්‍රසාද ,ජනාධිපති , අගමැති , කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් භුක්තිවිඳින බවත් පැවසීය .
තවද තමා වංචාවක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කොට විමර්ශනයක් සිදුකරන ලෙසත් චෝදනා කරන මන්ත්‍රීවරුන්ගෙන් නගරාධිපතිවරයා ඉල්ලා සිටියා.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න