fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

අමාත්‍ය රඹුක්වැල්ල,සරත් වීරසේකර ඇතුළු 5කට එරෙහිව ස ජ බ මහලේකම්ගෙන් පෙත්සමක්

විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයින් එක්රොක් වීම වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායන පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

ඔහු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මහජන සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර, පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයායි.

පෙත්සම්කරු කියා සිටින්නේ ගොවි ජනතාව මුහුණ දී සිටින පොහොර අර්බුදය ඇතුළු මහජන ගැටලු සම්බන්ධයෙන් රජයට විරෝධය පළකිරීම සඳහා සමගි ජන බලවේගය විසින් ඉකුත් නොවැම්බර් මස 16 වනදා කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවයි.

එම උද්ඝෝෂණය සඳහා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම අවම වශයෙන් බස් රථ දෙකක ජනතාව සහභාගී කර ගැනීමට කටයුතු යොදා තිබූ බවත් එම උද්ඝෝෂණය සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට යටත්ව සාමකාමී ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.

එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නොවැම්බර් 09 වන දා නිරෝධායන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන හමුවීම් සීමා කිරීමට කටයුතු කළ බව චෝදනා කරන පෙත්සම්කරු සමගි ජන බලවේගය විසින් පැවැත්වීමට සූදානම් කර තිබූ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමේ අරමුණින් අමාත්‍යවරයා විසින් එම නියෝගය නිකුත් කළ බව ද චෝදනා කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් නිකුත් කර ඇති නියෝග තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, නිදහසේ එක්රැස් වීමට ඇති මූලික අයිතිය ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලාසිටිනවා.

-අධිකරණ වාර්තාකරු උදය කුමාර-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest