වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය සඳහා වන එන්නත ලබා දීමට බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව විසින් අනුමැතිය ලබා දී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා පවසනවා.
ඔහු මේ බව කියාසිටියේ අද(13) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
”වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එම එන්නත්කරණය පාසල් තුළ සහ ගැටළු සහගත දරුවන්ට රෝහල් තුළදීත් එය ලබා දෙනු ඇති. මේ අතර වයස අවුරුදු 16 සහ 19 අතර දරුවන්ට පළමු මාත්‍රාව ගෙන මාස තුනකට පසු දෙවන මාත්‍රාව ලබා දීමට ද අනුමැතිය හිමිව තිබෙනවා. මේ වන විට එම එන්නත් ලබා දීම සඳහා ෆයිසර් එන්නත් අවශ්‍ය තරම රජය සතුව තිබෙනවා. තවත් ලැබෙමින් තිබෙනවා. ඒ නිසා එන්නත් ගැන ප්‍රශ්නයක් නැහැ. ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම නිසා ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිවැරදි ලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.මේ ප්‍රභේදය නිසා ළමා මරණ ගැන දැනට වාර්තා වෙන්නේ නැහැ. තවමත් දත්ත අල්පයයි තියෙන්නේ. ඒ නිසා නිවැරදි පුරෝකථන කරන්න බැහැ. ඒ නිසා වැදගත් වන්නේ කුමන ප්‍රභේදය ආවත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා ආරක්ෂා වීම.මේ වෙද්දී වයස 30ට වැඩි සියලු දෙනාට දැන් බූස්ටර් එන්නත දෙනවා. එය ලබා ගන්න. අපිට පේන දෙයක් තමයි වයස 60ට වැඩි වැඩිහිටියන් මේ බූස්ටර් එන්නත් ගැනීමේ අඩුවක් තිබෙන බව.එය නොගෙන ඉන්න එපා මේ එන්නත ගැනීමෙන් කොවිඩ් 19 පැතිරීම වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මහඟු අවස්ථාව මඟ නොහැර සියලු දෙනා එන්නත ලබා ගැනීමට උත්සුක වන ලෙසද ඉල්ලා සිටිනවා.”