fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

උපාධිය හදාරා විශ්ව විද්‍යාල හැරයන ආචාර්යවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – කෝප් සභාපති

පශ්චාත් උපාධි හැදෑරීම සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට රු මිලියන 25ක රාජ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබුණද ඔවුන් මේවන විට උපාධි පාඨමාලා අතහැර දමා ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙනවා.

එම ආචාර්යවරුන් වෙනුවෙන් මෙම මුදල් වෙන් කර තිබෙන්නේ 2009 සිට 2017 දක්වා කාලය තුළයි.

එසේම 2017 වසරේදී විශ්ව විද්‍යාල 8 ක කථිකාචාර්යවරු 12 දෙනෙකු රු.මි. 34.3ක මුදලක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන තිබුණ ද එය භාවිතයට ගෙන නොමැති බවද මෙම කමිටුව හමුවේ හෙලිවුණා.

පසුගිය කාලය තුළ ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනෙකු විශ්ව විද්‍යාලවලින් ඉවත් වී ඇති බවත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කරනවා .

ශාස්ත්‍රීය කරුණු සම්බන්ධව විශ්ව විද්‍යාල වලට ඇති ස්වාධීනත්වය ආරක්ෂා කරමින් පරිපාලනමය හා ප්‍රතිපාදනමය මැදිහත්වීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මූලික විය යුතු බවයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පවසන්නේ.

ඇතැම් විශ්ව විද්‍යාල සේවක බඳවා ගැනීම් තම අභිමතය පරිදි සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතින බව ද කෝප් කම්ටුව පවසනවා.

එය එසේ නොවියයුතු බව අවධාරණය කරණ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා මෙම තත්ත්වය පිළිබද අවධානය යොමු කරන ලෙසට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දෙනවා.

Z අගය මත විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගන්නා පිරිසට බාහිරව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අභියෝගතා පරික්ෂණ මගින් ඇතුළත් කර ගැනීම අනවශ්‍ය බව තීරණය කරන්නේ නම් එය අහෝසි කිරීමට හෝ අවම කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ද කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

2012 වසරේදී විශේෂ කැබිනට් අනුමැතියකට අනුව විශ්ව විද්‍යාල 13 ක, පාඨමාලා 38 ක් සඳහා සිසුන් බදවා ගැනීමට අභියෝගතා පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දී ඇති අතර එම පාඨමාලා සඳහා වෙනම අදාළ විශ්ව විද්‍යාල මගින් ඇතුළත් වීමේ පරීක්ෂණ පැවැත්වීම සිදු කර තිබෙනවා .

මෙහිදී අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සිය මතය නම් විශ්ව විද්‍යාල වලින් මෙසේ තෝරා ගන්නා පාඨමාලා ප්‍රමාණය අවශ්‍ය පරිදි අඩු කිරීම හෝ අහෝසි කිරීම සිදු කළ යුතු බවයි.

මෙම පරීක්ෂණ ක්‍රමය නිසා Z අගය මත සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ ජාතික ප්‍රතිපත්තියට යම් හානියක් සිදුවන බව ද මේ පිළිබද සුදුසු තීරණයක් ගන්නා ලෙසද මෙහිදී කෝප් සභාපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ඇතැම් පාඨමාලා සදහා මෙසේ පරීක්ෂණයක් පැවැත්වීම අනවශ්‍ය බව මේ වන විට හදුනා ගෙන ඇති බැවින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ බව විශ්ව විද්‍යාලවලට දක්වා ඇති බවද අනාවරණය විය.

නව පාඨමාලා ඉදරිපත් කරන විට ඒ සදහා අභියෝගතා පරීක්ෂණවලට අවසර ලබා නොදෙන බවද මෙහිදී අදහස් පල විය.

විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් පත් කිරිමේදී වඩාත් පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අවශ්‍ය බැවින් රාජ්‍ය ප්‍රතිපත්තිවලටද ගරු කරමින් විශ්විද්‍යාල නිදහසද ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ යුතු බව කෝප් සභාපතිවරයා පවසනවා.

2020 වසරේදී ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කොට උසස් අධ්‍යාපනය සඳහා වෙනම අනු කමිටුවත් පත් කළ බවත් සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් එක්වී විශ්ව විද්‍යාල වල ඉදිරි ගමන් මග කෙසේද යන්න සවිස්තරාත්මකව වාර්තා කළ බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

වඩාත් වැදගත් වන්නේ මෙය පදනම් කරගෙන උපාය මාර්ග 09ක් ඔස්සේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් මගින් ඉදිරියට යෑම ආරම්භකොට තිබීම බව කොමිසමේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර මෙය ජාතික වටිනාමකින් යුතු වැඩපිළිවෙළක් බැවින් එය පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට ද ඉදිරිපත් කොට වඩාත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දීම සුදුසු බව කෝප් සභාපතිවරයාගේ මතයයි.

නවකවදය අවම කිරීම සදහා මිලියන 34ක් වියදම් කර විශ්ව විද්‍යාල වල පිහිට වූ මද්‍යාස්ථාන වල ප්‍රගතිය පිළිබදවද කෝප් කමිටුව කරුණු විමසන ලදී.

2015 වසරේදී පිහිටුවා ඇති මෙමගින් නවකවදය සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීම සදහා ක්‍රමවේදයක් අන්තර්ගතවන අතර මේ සම්බන්ධව එක් එක් විශ්ව විද්‍යාල මට්ටමින් මෙහි ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායි වන්නේද යන්න සොයා බලා වාර්තාවක් කෝප් කමිටුවට මසක් තුළ ලබා දෙන ලෙසත් මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළා.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර,. රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජයන්ත සමරවීර, ජගත් පුෂ්පකුමාර සහ මධුර විතානගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest