කින්නියා, කුරින්ජන්කේනි ප්‍රදේශයේ සිදුවූ පාලම් පාරු අනතුරින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද දිනයේ කින්නියා නගරයේ සුදු කොඩි ඔසවා විරෝධතාවයක නිරතවනවා.
අප වාර්තාකරු පවසන්නේ කින්නියා හා ඒ අවට පාසැල් ද වසා වසා දමමින් විරෝධය පළකරන බවයි.
ඔවුන්ගේ ඉල්ලීම වන්නේ කුරින්ජන්කේනි කලපුව මැදින් ඉදිකරන පාලම කඩිනමින් ඉදිකරදෙන ලෙසටයි.
මේ අතර කින්නියා, කුරින්ජන්කේනි ප්‍රදේශයේ පෙරේදා(23) සිදුවූ පාලම් පාරු අනතුරින් මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සඳහා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ(24) සහභාගී වුණා.
මෙහිදී සිද්ධිය සිදු වූ කින්නියා කළපුව නිරීක්ෂණයට ද එක් වූ රිෂාඩ් බදියුදීන් මහතා පවුල් අය වෙත සිය ශෝකය පළ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පාලම් පාරුවේ හිමිකරු හා තොටියන් දෙදෙනා ඊයේ (24) දින අත්අඩංගුවට ගැණුනා.
ඒ අනුව මෙම තිදෙනාව දෙසැම්බර් මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කින්නියා ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35, 40, 53 යන වයස්වල පුද්ගලයින් බවයි කින්නියා පොලිසිය පවසන්නේ.
පාලම් පාරුවේ හිමිකරු හා එක් තොටියෙකු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් සැගවී සිටි බවත් පසුව ඔවුන් දෙදෙනා පොලීසියට භාර වූ බවත් කින්නියා පොලිසිය වැඩිදුරටත් පවසනවා.