fbpx

“ගාලු මෝදර අරගලකරුවන් විසුරුවා හරින්න එපා” පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන “ගෝඨා ගෝ ගම” සාමකාමී අරගලය නීති විරෝධී ලෙස විසුරුවා හැරීම වැළැක්වීමේ නියෝගයක් පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම අරගලයේ නියුතු සිවිල් ඉංජිනේරුවරයෙකු වන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි  එම්.එන්.එන්.හමීම්  විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
 එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස.
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා හා නීතිපතිවරයා යන අය නම් කර තිබෙනවා.
පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් ගාලුමුවදොර ප්‍රදේශයේ සාමකාමී අරගලයක් පැවැත්වෙන බවයි.
දින තිහකට අධික කාලයක් පැවති එම අරගලයේ දී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවද පෙත්සම්කරු පවසනවා.
එසේ තිබියදී වග උත්තර කරුවන් විසින් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවමින් එම සාමකාමී අරගලයට බාධා පමුණුවන බව ද පෙත්සමේ සඳහන් වෙනවා.
එමෙන්ම අදාළ සාමකාමී අරගලය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් නිදහසේ හා සාමකාමී ලෙස රැස්වීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පවසනවා.
පොලිස්පතිවරයා ඇතුලු වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නිදහසේ රැස්වීමට ඇති අයිතිය ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සමින් අයැද තිබෙනවා.
ඊට අමතරව ගෝඨා ගෝ ගම සාමකාමී අරගලයට බාධා පමුණුවන ආකාරයේ ක්‍රියා සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු අදාල සාමකාමී අරගලය නීති විරෝධී ලෙස විසුරුවා හැරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කළ ලෙසද වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles