ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ දරුවන් දෙදෙනාගේ සහ පවුලේ අනාගතය සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර පිළිබඳව ශ්‍රි ලංකා රජය ,පකිස්තානු රජය සමඟ සම්බන්ධවෙලා ඒ අවශ්‍ය වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
ඊට අමතරව ප්‍රියන්ත කුමාර මහතාට ලැබුණු වැටුප අඛණ්ඩව ඔහුගේ භාර්යාවට මාසයෙන් මාසයට ගෙවීමට තීරණය කර ඇති බව පකිස්තාන රජය දැනුම්දුන් බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
“පකිස්තානයේ ශ්‍රි ලාංකිකයන් සෑහෙන පිරිසක් රැකියාවල නිරතවෙනවා.ඒ වගේම අපේ ශිෂ්‍යයන්ද පකිස්තානයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබනවා.දැන් පකිස්තානු රජය පැහැදිලිවම ශ්‍රි ලංකා රජයට දන්වලා තිබෙනවා මේ ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගන්න පුළුවන් සියලුම පියවර පකිස්තානු රජය ගන්නවා කියලා. ඒ ගැන අපි හිතේ භයක් සැකක් ඇති කර ගැනීමට කිසිම හේතුවක් නෑ. ඒ වගේම ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ ඝාතනය සම්බන්ධව පුද්ගලයින් 249 ක් පමණ අත්තඩංගුවට අරගෙන තිබෙනවා. ඒ පුද්ගලයින්ට විරුද්ධව නඩු පවරන්නේ ත්‍රස්තවාදය සම්න්ධ නීතිය යටතේ බව තීරණයක් අරගෙන තිබෙනවා. ඒ නඩු විභාගය දිනෙන් දින පැවැත්වීමට තිරණය වෙලා තිබෙනවා. තවද ඒ නඩු විභාගය පැවැත්වෙන්නේ බන්ධනාගාරය තුළමය. ඒ නඩු විභාගය සම්බන්ධව සුවිශේෂි විධිවිධාන සලස්වලා තිබෙනවා. පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා නීතිමය යටතේ දෙන්න පුළුවන් උපරිම දඩුවම ඒ පුද්ගලයින්ට ලබා දෙනවා කියලා.එසේම ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ පවුලේ මූල්‍ය සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්ද පකිස්තානයෙන් පියවර කිහිපයක් අරගෙන තිබෙනවා. සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එක්කාසුවෙලා US ඩොලර් ලක්ෂයක් එකතු කරලා තිබෙනවා ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ පවුලට පරිත්‍යාග කිරීම සඳහා. ඊට අමතරව ඒ සමඟම ප්‍රියන්ත කුමාර මැතිතුමාට ලැබුණු වැටුප අඛණ්ඩව එතුමාගේ භාර්යාවට මාසයෙන් මාසයට ගෙවීමට තීරණය කරලා තිබෙනවා. පකිස්තානයේ වැඩබලන මහා කොමසාරිස්තුමා සමඟ සාකච්ඡා කරමින් කිව්වේ මේ පිළිබඳව අගය කරනවා වගේම එතුමාගේ වැටුප ලබා දෙන නිශ්චිත යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි කියලා. ඒ වගේම ශ්‍රි ලංකා රජයත් මේ වැඩපිළිවෙළට එකහෙළා සම්බන්ධ වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ පවුලට ලක්ෂ 25 පරිත්‍යාග කිරීමට තීරණය කරලා තිබෙනවා. එසේම විදේශ කටයුතු අමාත්‍යාංශයත් මූල්‍ය ආධාරයක් ඒ පවුලට කිරීමට වැඩපිළිවෙළක් යොදනවා. මම නිල වශයෙන් ලිපියක් යැව්වා රක්ෂණ සංස්ථාවේ සභාපතිතුමාට. ඒ රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය ලබාගෙන මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට අනුමැතිය ලබා ගෙන පවුලට ඒ ගෙවීම කිරීමට.ඒ වගේම ඒ පවුලේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් අඛණ්ඩව ලබා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම තමයි ශ්‍රි ලංකා රජයේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ. විදේශ ඇමතිවරයා හැටියට ආරාධනා කරලා තිබෙනවා ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ භාර්යාවට සහ දරුවන් දෙදෙනාට තව දවස් දෙකකින් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡා කරලා අවශ්‍ය වැඩ කටයුතු යොදා ගැනීමට.”