රුපියල් කෝටි ගණනක නීති විරෝධී වත්කම් හා මුදල් ඉපැයීම් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දෙමටගොඩ චමින්ද ගේ සොහොයුරු දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 03 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් වරයා අද නියම කළා.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඔහුට ඇප ඉල්ලා සිටියත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි ගණනක් වටිනා රත්තරන් තොගය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමුකර ඒවායේ තක්සේරු වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ රන්භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළා.
නීති විරෝධී ලෙස රුපියල් කෝටි ගණනක් වටිනා මුදල් හා වත්කම් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
දෙමටගොඩ රුවන් නැමැති මෙම සැකකරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තා ගේ සොහොයුරෙකු බව ද අධිකරණය හමුවේ හෙළිවුණා.
ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු : උදය කුමාර