fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබුණත් එය “බුද්ධි” තොරතුරක් ලෙස වැඩි දියුණු කරගෙන තිබුනේ නැහැ – නිලන්ත ජයවර්ධන

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත සිතාසි නිකුත් කළා.

මෙම නඩුව අද(26) කොළඹ මහාධිකරණයේදී නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් නඩුවේ 1214 වන සාක්ෂි කරු වශයෙන් නම් කර සිටින වත්මන් පොලිස්පතිවරයාට සාක්ෂි දීම සඳහා මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වත්මන් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළා.

මෙම නඩුව අද කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා, සහරාන් හෂීම් ප්‍රමූඛ ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට විදේශීය තොරතුරු කරුවකුගෙන් තමාට ලැබුණු තොරතුර “බුද්ධි” තොරතුරක් ලෙස වැඩි දියුණු කරගෙන නොතිබූ හෙයින් එය ජනාධිපතිවරයා වෙත දැනුම් නුදුන් බව කියා සිටියා.

මෙම තොරතුර පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා දැනුවත් කිරීමට තමා කටයුතු නොකළ බවත් ඔහු පැවසුවා.

අදාල තොරතුර “බුද්ධි” තොරතුරක් වශයෙන් තහවුරු කර ගෙන නොතිබු හෙයින් එය 2019 වසරේ අප්‍රේල් මස 09 වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමටද තමා එය ඉදිරිපත් නොකළ බවත් ඔහු කියා සිටියා.

ඉන් අනතුරුව මෙම චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවද අද යළි විභාගයට ගත්තා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරය එල්ල වීමට පෙර තමා දුරකථන මාර්ගයෙන් ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා සමග කථා කර තිබුණද එම සාකච්ඡා වලට අදාල පටිගත කිරීම් කිසිවක් තමා සතුව නැති බව පිළිගත්තා.

තමා කිසිදු අවස්ථාවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා බිල්ලට දීමට උත්සාහ නොකළ අතර තමාට ලැබුණු තොරතුර දැනුම් දී ඔහුගෙන් උපදෙස් පැතීමට උත්සාහ කළ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපති සහ අගමැති අතර ගැටුමක් තිබුණා නොවේ දැයි විත්තියේ නීතිඥවරයා විමසූ අවස්ථාවේ දී සාක්ෂිකරු කියා සිටියේ තමා ඒ පිළිබඳව නොදන්නා බවයි.

එහිදී විත්තියේ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අධිකරණයේ කරුණු දක්වමින් සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබියදී එම කරුණ නොදැන සිටීම පිළිබඳව තමා විමතියට පත් වන ප්‍රකාශ කළා.

විත්තියේ නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කරමින් “ඔබ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ හිතවත් නේද?” යනුවෙන් සාක්ෂිකරු ගෙන් විමසුවා.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා “ස්වාමීනි.. මම එම කරුණ ප්‍රතික්ෂේප කරනවා. රාජකාරි කටයුතු සඳහා කතා කළා.”යනුවෙන් සඳහන් කළා.

බෝම්බ පිපුරුම සිදුවූ අප්‍රේල් මාසය තුළ තමා ජනාධිපතිවරයා හමුවී නොමැති බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එහෙත් දුරකථනයෙන් කතා කර තිබූ බවද පිළිගත්තා.

2019 වසරේ අප්‍රේල් මස 20 වන දා සවස ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තහවුරු කරගත් බුද්ධි තොරතුරු තමන්ට ලැබුණු බව කී සාක්ෂිකරු ඉන්පසුව එය ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්ෂක ලේකම්, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි යන අය දැනුවත් කළ බව පැවසුවා.

අප්‍රේල් 20 වන දා සවස තමාට ලැබුණු තහවුරු කරගත් තොරතුර පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමා උත්සාහ කලත් තමාට ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් සාක්ෂිකරු කියා සිටියා.

“මා තොරතුරු දැනුම් දීමට බැඳී සිටින්නේ ආරක්ෂක ලේකම්වරයාට පමණයි. එහෙත් මෙම තොරතුරේ තිබෙන බරපතළ භාවය සැලකිල්ලට ගෙන එය මා ඉහළ නිලධාරීන්ටත් දැනුම් දුන්නා.” යනුවෙන් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා.

ඉන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණා.

වැඩිදුර විභාගය දෙසැම්බර් මස 13දා තෙක් කල් තැබුණා.

ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු – උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest