2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් මිලියන 688 කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී දැනට විදේශයකට පළා ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්යක්ෂවරයකු වන අජාන් ගාර්දිය පුන්චිහේවා යන අය නොමැතිව නඩු විභාගය ඉදිරිපත් ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල මඩුල්ල අද තීරණය කළා.
මෙම නඩුව අද(03) චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ සිදුකෙරුණු ඉල්ලීමක සඳහන් වූයේ දැනට රටින් පළා ගොස් සිටින අර්ජුන මහේන්ද්‍රන් හා අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා සාක්ෂි මෙහෙය වීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව පැමිණිල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවන ලදී.
එම සාක්ෂි විමසීමේ දී විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් 2017 වසරේ ඔක්තෝබර් මස 13 වනදා ශ්‍රී ලංකාවෙන් පිටව සිංගප්පූරුව බලා ගොස් ඇති බව අනාවරණය වුණා.
එමෙන්ම අජාන් ගාර්දිය පුංචිහේවා නමැති විත්තිකරු ද 2018 වසරේ ජූනි මස 23 වනදා ශ්‍රී ලංකාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා සිංගප්පූරුවට ගොස් ඇති බවට තොරතුරු හෙළි කෙරුණා.
ඒ අනුව මෙම විත්තිකරුවන් දෙදෙනා විදේශගත වී ඇති බවට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට නීතිපතිවරයාට අවසර ලබා දුන්නා.
අනතුරුව නඩුව නැවත ජනවාරි මස 07 වනදා කැඳවීමට අධිකරණය නියම කළේ.
2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ බැඳුම්කර වෙන්දේසිය ට අදාළව රුපියල් මිලියන 688 කට අධික භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමක් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එහි අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කළා
ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු : උදය කුමාර