fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

රට ශීඝ්‍රයෙන් දියුණු කිරීමට මෙරට උසස් අධ්‍යාපන ව්‍යුහය වෙනස් කළ යුතුයි – ජනපති

රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමට නම් මෙරට උසස් අධ්‍යාපන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (10) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවය අමතමින්.

“මෙම සන්ධ්‍යාවේ, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ඔබ ඇමතීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙමි.තම අධ්‍යයන කාලය තුළ දැඩිව වෙහෙස වී මෙම උත්සවයේ දී උපාධිධාරීන් බවට පත්වන සියලුම ශිෂ්‍යයන් හට මම සුබ පතන අතරම ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කරමි.ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂි ආයතනයකි. ආරම්භයේ දී, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට වැඩිදුර පුහුණුව ලබාදීම සඳහා පිහිටුවනු ලැබුව ද, වර්තමානයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදා නිලධාරීන්ට මෙන්ම සිවිල් සිසුන්ට ද තෘතීයික අධ්‍යාපන සඳහා අවස්ථාව සලසා ඇත.උපාධි වැඩසටහන් කිහිපයක් සඳහා විදේශ සිසුන් අතර ද මෙම විශ්වවිද්‍යාලය ආකර්ෂණයක් වී ඇත.වර්තමානයේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ වඩා හොඳ තෘතීයික අධ්‍යාපනය සලසන ආයතන අතුරින් එකක් ලෙස කීර්තියක් උසුලන අතර, මෙමගින් බිහිකරනු ලබන උපාධිධාරීන් තමන් තෝරාගත් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අති දක්ෂයින් ය.කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බිහි කරන උපාධිධාරීන් ඔවුන්ගේ නායකත්ව කුසලතා, කණ්ඩායම් කුසලතා, අඛණ්ඩතාව සහ දේශප්‍රේමය සඳහා කීර්තිමත් වන අතර සේවා යෝජකයින් අතර මෙම කුසලතාවන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.මෙම ආයතනයට සම්බන්ධ අයට සහතික කළ හැකි පරිදි මේ මට්ටමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්කරලීමේ දී අභියෝග නොමැති වුවා නොවේ. අදටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එරෙහිව ඇතැම් පිරිස් විරෝධතා මතුකර තිබෙනවා.
එම කණ්ඩායම් වලට අවශ්‍ය වී ඇත්තේ වසර ගණනාවක් පුරා දැනටමත් දහස් ගණනක් ශ්‍රී ලාංකික සිසුන්ට ප්‍රතිලාභ ලබා දී ඇති වැඩපිළිවෙළ අකර්මන්‍ය කරලීමටයි.දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පසුපසට ගෙන ගිය මෙම ආකල්පය මට තේරුම් ගත නොහැක.අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයේ අවශ්‍යතාවලට අනුගත වී නොමැති බව නොරහසකි.ශ්‍රී ලංකාවේ සාමන්‍යයෙන් ලබාදෙන අධ්‍යාපනයෙහි සහ 21 වැනි සියවසේ අප රට සංවර්ධනය වීමට අවශ්‍ය කරන කරුණු අතර නොගැලපීමක් තිබේ.
විශේෂයෙන්ම, අපේ තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ විය යුතු බවට මා නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මේ නිසාය.විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදැරුව ද, ඔවුන් සියලු දෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබාගෙන උපාධි ලබා තිබිය යුතු බවට මම තරයේ විශ්වාස කරමි.අවම වශයෙන්ථ ඔවුන්ට පරිගණකයක් සමග වැඩ කිරීමේ යම් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාවත් තිබිය යුතුය. වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතා ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු තීක්ෂණ චින්තනය, ව්‍යවසායකත්වය සහ ඉංග්‍රීසි භාෂා කුසලතා ද එයට ඇතුළත් ය.මෙම ප්‍රතිසංස්කරණ වලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා ඇති අතර, ලබන වසරේ තවත් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට නියමිත බව සතුටින් සඳහන් කරමි.මෙම ප්‍රතිසංස්කරණ මගින් අපගේ විශ්වවිද්‍යාල සිසුන් උපාධිධාරීන් වූ පසු ඵලදායී පුරවැසියන් වීමට අවශ්‍ය නිපුණතා සහ කුසලතාවලින් ඔවුන් සන්නද්ධ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඊටත් වඩා විශාල ගැටලුවක් වන්නේ එහි ඇති ධාරිතා සීමාවයි.ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන ස්ථාන සංඛ්‍යාව දස දහසකින් වැඩි කිරීම මගේ ජයග්‍රහණවලින් එකකි.කෙසේ වෙතත්, මෙම වැඩිවීමෙන් වුවද, උසස් පෙළ සමත් වුවද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටිනු ඇත.මෙයට හේතුව වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සියලුම සිසුන්ට අවස්ථාවට ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති වීමයි.මෙම විශ්වවිද්‍යාල ස්ථාන නොමැතිකමේ ප්‍රතිවිපාක බොහෝ දෙනා හඳුනාගෙන තිබෙනවාට වඩා පුළුල් කරුණකි.
එය සමස්ත අධ්‍යාපන ක්‍රමය පුරාවටම අවස්ථා නිරන්තරයෙන් පටු වීමට හේතු වී ඇත.
එහි ප්‍රතිඵලය වී ඇත්තේ සිසුන් සාර්ථක වීමට උපකාර කිරීමට වඩා අසමත් වීමට වැඩි ඉඩක් නිර්මාණය වන ලෙස පද්ධතිය සැලසුම් කිරීමයි.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නමුත් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් නොලබන විශාල සංඛ්‍යාවක් තුළින් අප මෙය දකිනවා.
සෑම වසරකම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදේශ රටවලට යන විශාල සංඛ්‍යාවෙන් එය අපට පැහැදිලි වේ.එසේ කිරීමෙන් මෙම සිසුන්ගේ දෙමාපියන්ට විශාල වියදමක් දැරීමට සිදු වෙනවා පමණක් නොව, රටට වටිනා විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන අතර, වඩාත්ම කනස්සල්ලට කරුණ නම්, උපාධිය ලැබීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවට බොහෝ විට දක්ෂ තරුණයින් විදේශගතව ජීවත් වීමට තීරණය කිරීමෙන් අප රටට ඔවුන් අහිමි වීමයි.
මුදල් අතින් අඩුපාඩුකම් සහිත දෙමාපියන් සිටින සිසුන් වෙනත් විවිධ පාඨමාලා හැදෑරීමට යොමුවේ. මෙම පාඨමාලා ශ්‍රී ලංකාවේ පවතින නමුත් විශ්ව විද්‍යාල මගින් සපයනු ලබන පරිපූර්ණ අධ්‍යාපනය එමගින් ලබා නොදේ.බහුතරයක් වැඩිදුර අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අත්හැර දමා අවසානයේ තමන්ට සොයා ගත හැකි ඕනෑම අඩු වැටුපක් සහිත රැකියාවක් වෙත යොමුවේ.
අවාසනාවන්තම දෙය නම්, අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇති ඉහළ ගෞරවය නිසා,මෙම සිසුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එසේත් නැතිනම් ඉදිරි වසර ගණනාවක් පුරා තමන් අසාර්ථක පුද්ගලයන් ලෙස සිතීමට පෙළඹිය හැකිය.මෙම කුරිරු තත්ත්වය දිගටම පවත්වාගෙන යාම කිසිසේත් පිළිගත නොහැකිය.අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළ යුතුයි.මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත්ම හේතුවක් නැත.ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවේ.බොහෝමයක් ස්වාධීන ස්වයං-පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇත.එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොකිරීමට කිසිසේත්ම හේතුවක් නැත.මෙය සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම්, එය සිදුකළ හැකිය.සාම්ප්‍රදායික ආකල්ප එවැනි ආයතන පිහිටුවීමට බාධා කරන්නේ නම් එවැනි ආකල්පයන්ට දැඩි ලෙස අභියෝග කළ යුතුය.රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන ‘උපාධි විකුණන අධ්‍යාපන කඩ’ බවට පවතින පැරණි විරෝධතා වල කිසිදු අර්ථයක් නොමැත.අපගේ තරුණ තරුණියන්ට පවතින අවස්ථා සීමා කිරීම සඳහා අසාධාරණ ලෙස භාවිතා කරන අතීතයට අයත් මෙම යල්පැනගිය පදනමක් නොමැති කතාවලින් ඔබ්බට අප සිතිය යුතුය.අපි දැන්ම මෙය සිදුනොකළහොත් තවත් ශිෂ්‍ය පරම්පරා ගණනාවකට මෙම පටු ආකල්ප නිසා අනවශ්‍ය ලෙස දුක් විඳීමට සිදුවනු ඇත.මෙය සිදුවීමට ඉඩදීමට මම සූදානම් නැහැ.රාජ්‍ය අංශයෙන් පරිබාහිරව පිහිටුවා ඇති විශ්වවිද්‍යාලවල ඉගෙනීමට සිසුන්ට මුදල් ගෙවිමට සිදුවිය හැකිය යන්නෙන් අදහස් වන්නේ එම ආයතන උපාධි විකුණනවා යන්න නොවේ.මෙවැනි දුර්වල හේතූන් මත රාජ්‍ය අංශයෙන් පරිබාහිරව විශ්වවිද්‍යාල පිහිටුවීමට විරෝධය පළ කිරීම ඛේදවාචකයක් පමණක් නොව; එය අපරාධයකි.රාජ්‍ය ප්‍රතිපාදන හෝ ස්වයං අරමුදල් මත පාලනය වන යන භේදයකින් තොරව සියලුම විශ්වවිද්‍යාල නියාමනය කිරීම සහ ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය විය යුතුය.තවද, ගාස්තුවක් අය කරන ඕනෑම විශ්ව විද්‍යාලයක් එහි ගුණාත්මක භාවය පවත්වාගෙන යාමට අපොහොසත් වේ නම්, එම ආයතන කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් අභාවයට යනු ඇත.උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොලේ අවස්ථා ලබා දීමට හැකියාවක් නොමැති විශ්ව විද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇත.සිසුන් සංඛ්‍යාව අඩු වන විට, එහි ප්‍රමිතිය පවත්වා නොගන්නා ඕනෑම විශ්ව විද්‍යාලයක් වැසී යනු ඇත.ශ්‍රී ලංකාවේ තවත් විශ්වවිද්‍යාල පිහිටුවීමට ඉඩ ලබාදීමෙන් සෑම තරාතිරමකම සිසුන්ට මෙන්ම කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සඳහා ද එවැනි ආයතන අතර ඉහළ තරගයක් නිර්මාණය වනු ඇත.ශ්‍රී ලංකාවේ තවත් විශ්ව විද්‍යාල පිහිටුවීමට දැඩි විරෝධයක් දක්වන අයට එවැනි තරඟකාරී පරිසරයක් තුළ සාර්ථක වීමට ඇතිහැකියාව ගැන තමන් පිලිබඳව විශ්වාසයක් නොමැත.ඔවුන්ගේ විරෝධතා ඉවතලා, හැකිතාක් ඉක්මනින් මෙම නව අවස්ථා නිර්මාණය කරන තරමට, අපගේ සිසුන්ට සහ අප රටට යහපතක්ම සිදුවනු ඇත.දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල මඟින් සපයනු ලබන සේවාවෙන් සහ අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය විවිධාකර සහ තරඟකාරී තෘතීයික අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ අප සතු නම්, එය විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට හැකියාව ඇති සිසුන්ට හෝ වෙනත් රටවල විශ්ව විද්‍යාලවලට ශිෂ්‍යත්ව ලබා ගන්නා සිසුන්ට මෙරට රැඳී සිටීමට පවා දිරිගැන්වීමට හේතුවක් වනු ඇත.
රට තුළ තෘතීයික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නංවා ගත හැකිය.මෙය, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවලින් සහ ඉන් ඔබ්බට පිහිටි අනෙකුත් රටවල සිට පවා ශ්‍රී ලංකාවට සිසුන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත.කාලයාගේ ඇවෑමෙන්, මෙය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට ශක්‍ය විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කරනු ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනටමත් අනෙකුත් රටවලට වඩා දශක ගණනාවක් පිටුපසින් සිටීම කනගාටුවට කරුණකි.කෙසේ වෙතත්, මෙම වෙනස සිදු කිරීමට තවමත් ප්‍රමාද නැත.
රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස සිදුකිරීමටයි.අතීත භාවිතයන්, සම්ප්‍රදායන් හෝ යල් පැන ගිය නීති සහ රෙගුලාසි හේතුවෙන් පවතින තත්ත්වයන්ට සීමා නොවී අපගේ හොඳම සහ දීප්තිමත් සියලු දෙනා වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කළ යුතුය.
අද මෙහි පැමිණ සිටින ඔබ සියලු දෙනාම මෙම යථාර්ථය තේරුම් ගෙන ඉදිරි කාලය තුළ මෙම වෙනසට සහයෝගය දැක්වීමට ඔබේ උපරිම සහයෝගය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.අපේ රටටත් අපේ අනාගත පරපුරටත් යහපත් හෙටක් ගොඩනඟා ගැනීමට අපි සැවොම එක්ව කටයුතු කරමු”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest