ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජියෝං (Woonjin Jeong) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ(18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.
මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම කෙරෙහි මේ වනවිට රජය ප්රමුඛ අවධානයක් යොමු කර ඇති හෙයින් ඒ සඳහා ඖෂධ කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලැබී ඇති බවයි.
කර්මාන්ත ක්ෂේත්රයේ ඉහළ තාක්ෂණික දැනුමක් සහිත කොරියානු වැනි රාජ්‍යයන්හි ආයෝජකයින් ඇතුළු විදෙස් ආයෝජකයන්ට මේ සඳහා අවස්ථාව සැලසී ඇතැයිද අමාත්‍යවරයා කීය.
කොවිඩ් සමයේ පටන්ම කොයිකා (koica) ව්‍යාපෘතිය හා කොරියානු රජයේ ඒකාබද්ධතාවයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ උපකරණ රැසක් පරිත්‍යාග කළ බවත් ඒ සඳහා ස්තූතිවන්ත වන බවත් කීය. දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එවැනි වැඩපිළිවෙළ ඉවහල් වන බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ කොරියානු තානාපති Woonjin Jeong මහතා කොවිඩ් වසංගත සමයේ දෙරටම නව අත්දැකීම් වලට මුහුණ දුන් බවත් අභියෝග හමුවේ කොවිඩ් වසංගතය ජය ගත් බවත් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බවත් පැවසීය.
කොරියානු රජය විසින් දැනටමත් නව රැකියා අවස්ථා නිර්මාණය කර හඳුන්වාදී ඇති බවත් ශ්‍රී ලංකාව සඳහා වැඩිවශයෙන් රැකියා වෙළඳපළ අවස්ථා ලබා දී ඇති බවත් මෙහි දී පැවසූ තානාපතිවරයා ඒ අනුව කොරියානු රැකියා කෝටාව ඉහළ නංවා ඇති බවත් කීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.