fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

කොරියාවේ හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තෙරපීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 80 ක් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මියගිය සහ තෙරපී තුවාල ලැබූ වැඩි දෙනා නව යොවුන් තරුණ තරුණියන්ය. මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඔවුන් සියලු දෙනා අවුරුදු 20 ට අඩු අයයි.

හලොවීන් සැමරුම පැවැත්වූයේ සෝල් අගනුවර අයිටේවොන් නමැති පළාතේ පටු වීදියකය. සෝල් අගනුවර රාත්‍රී සමාජ ශාලා, අවන්හල් ආදිය බහුලව ඇත්තේ මෙම අයිටේවොන් පළාතේය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පනවා තිබූ සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමෙන් පසු, එළිමහනේ සංවිධානය කෙරුණු, මුහුණු ආවරණ අනිවාර්ය නොවූ,පළමු හලොවීන් සැමරුම් උත්සවය මෙය විය.

හලොවීන් සැමරුම පැවැත්වුණු එම වීදියට එක් රොක් වී සිටි තරුණ තරුණියන් ගණන ලක්ෂයකට වැඩිය. පිරිස අතරේ සිටි කීප දෙනකු සිහිසුන්ව ඇද වැටෙද්දී, නොසන්සුන්තාවක් සහ කබලයක් හටගත් අතර, ඉන්පසු තෙරපීම සිදුවුණේ යැයි සිද්ධිය දුටුවෝ පවසති.

සිද්ධිය සැලවුණු සැණින් සෝල් අගනුවර ගිනි නිවන හමුදාව සහ සහන සේවා නිලධාරීහු වහා එහි ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යුහුසුළු වූහ.මියගිය පිරිස අතර විදේශිකයන් දෙදෙනකු සිටින බවත් අයෙක් 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් බවත් තවත් විදේශිකයන් 15 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් ගිනි නිවන භටයෝ පවසති.

සිද්ධිය ගැන කම්පාවට පත්වෙමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අණ කර ඇත්තේ, සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලා තමන්ට ඒ බව දන්වන ලෙසය. තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දීමටත් අවශ්‍ය සහාය ලබා දීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

හලොවීන් සැමරුම අතරතුරේ සිදුවුණු තෙරපීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු ලෝක නායකයෝ රැසක් ශෝකය පළ කළහ.

හලොවීන් යනු මළවුන්, ශාන්තුවරුන් සිහි කරමින් පැවැත්වෙන සැමරුම් උත්සවයකි. සැමරුමට සහභාගී වන බොහෝ දෙනා හොල්මන්, අවතාර, පිසාචයන් ලෙස විකට ඇඳුමින් සැරසෙති.

බොහෝරටවල් ඔක්තෝබර් 31 සන්ධ්‍යාව හලොවීන් සැමරුම් ස‍ඳහා යොදා ගනී. හලොවීන් යනු බටහිර රටවල සැමරුම් උත්සවයක් වන අතර, කුඩා දරුවන්, තරුණ තරුණියන් අතරේ මෙය ප්‍රකටය. අද වනවිට බටහිර රටවල පමණක් නොව, අද වනවිට සෙසු රටවල ද හලොවීන් සැමරීම සිදුවෙයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest