ත්‍රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව ඉදිරි සති දෙක ඇතුළත ඉහළ දමන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පොදු ප්‍රවාහන සේවාවල නිරත ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ලියාපදිංචි ත්‍රිරෝද රථ මිලියන 1.1 ක් පවතින අතර යථාර්ථයේ දී පළාත් සහ පළාත් පාලන ආයතනවල ලියාපදිංචි වාහන අනුව ක්‍රියාත්මක වන්නේ ත්‍රිරෝද රථ 350,000 ක් පමණි.
පොදු ප්‍රවාහන සේවයක් ලෙස ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන ලෙස පළාත් සභාවලට උපදෙස් ලබාදී ඇති අතර මීට පෙරද එම ලියාපදිංචි කිරීම් පොලිස් ස්ථානවල සිදු කර තිබෙනවා.
ලියාපදිංචි වාහන ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට ඇතුළත් කළ යුතු අතර එය සති එකක හෝ දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ඔහු පැහැදිලි කළේය.
අවශ්‍ය ක්‍රියාමාර්ග අවසන් කිරීමෙන් පසු ත්‍රිරෝද රථ සඳහා අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.